Saturday, November 20, 2010

වැස්ස

උදේ ඉදන් අඳුරු කරලා
මහ දවාලේ ඇදන් වැටුන
මොර සූරන වැස්ස වගෙයි
හැමදාමත් රණ්ඩු කරලා
මගෙන් දුරස් වී ගිය
නුඹ...

Tuesday, September 7, 2010

තනිකම

මේ සුපසන් සැන්දෑවේ
ඇයි නුඹ නාවේ....
මගේ හිතේ ඉපදුන කවි
ගොළු වී ගිය නිමේෂයේ ....
ඈත දුරට පාර දිගේ
මා නෙතු ඉගිලේ........

කියා ගන්න නොහැකි වදන්
මුව තුල‍ ගොළු වේ.....
දුරකතනය දැන් හඩයි ද
දෙසවන් යොමු වේ.......

පාළු හිතක නෙක පතුමන්
ගිලි‍හී නෙතු කදුළු පිරෙන...
සෝබර මේ සැන්දෑවත්
හරිම දුක්බරයි.

Wednesday, June 16, 2010

මිතුරු දම


මිනිසුනේ
මන්ද මෙලෙසින්
සෙනහෙ දමකින්
බැඳී සිටිනට
නොහැක්කේ..

Thursday, May 20, 2010

නොදුටු හිතවත


ඔබ කතා කළේ දින දෙකයි තුනයි

ඒ කියූ කතා මගෙ හිතට බරයි

හිත නැගුන හීන ගොඩ අහස උසයි

ඔබ යන්න ගිහින් මගෙ හිතට දුකයි.

Monday, May 17, 2010

ගාන්ධර්වයානෙණි...

ගීතයක් ඇසුවාට
දැනන් උන්නේ නෑ මං
කවදාවත්ම
ගී ගයන්නන් වයන්නන්
මේ තරම් පෙම් කරන බව
එයට....

මා නොදුටු ලොව
දකින්නට
දෑස් පාදා....
ජීවිතේ රස විඳින්නට
යන්තමට කියා දී
අතරමං කොට දමා
වෙන් ව ගිය ඔබ,

ජීවන ගීතය ගයනු ඇති
හෙට...
බලා ඉමි මම
හැකිවේද මටත්
රස විඳින්නට
ඔබේ ගීතය...

Thursday, May 13, 2010

සොයුර

වසන්තයක සමනළයින්
වන් ඔබ ඇයි මුලා වෙලා
රන්වන් පාටින් දිදුල ද
මව් කටගෑ රන් කිරි නොව
සිත ද ගත ද විකල් කරන
සැර ගඳකින් දසත දවන
ලෝ දිය බිදු
බව දැන දැන
මන්ද සොයුර
නුඹ ඒ දිය
අමා පැන් පොදකි සිතුවේ?...

Wednesday, May 12, 2010

සමිඳු නමදිමු!


සමිඳ ඔබ පා කමල නමදිමි
දොහොත් සිරසේ රඳවලා
ගයමි බැති ගී ගිලී සයුරේ
ඒ මහා ගුණ කඳ අමා..........

පිපුණ සල් මල් වනේ ඉපදී
ලොවට සත්‍යය හෙලි කලා
අමා මෑණී බුදු පියානෙණි
නැවත නමදිමි ඔබෙ දෙපා.......

දසත සුවඳින් මත් කරන සල්
මල් හවස් කල පරවෙනා
ලොවේ මල් මෙන් උපත ලද අපි
හෙට දිනේ දී මියදෙනා........

සියළු ලෝ දම් අනියතම බව
පසක් කරමින් වෙසක් පෝ දින
පිරිනිවන් පෑ තිලොව තිලකය
නමදිමූ නැවතත් සැමා....

Thursday, May 6, 2010

කල්ලඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ

සිකුරාදා රාත්‍රියෙ හි යාල් දේවී දුම්රිය සුපුරුදු පරිදි කොළඹින් ගමනාරම්භ කරන්නට විය.දුම්රිය හඩ පරදවමින් දකුණේ රාජකාරීන්හි නියුතු වූ, උතු‍රේ වැසියන් තම ගම් බිම් බලා යන ගමනේ දී,සතියේ රසවත් සිදුවීම් එකිනෙකා හා බෙදා ගන්නා නිමේෂය එළඹින. සැබවින් ම ඒ අවස්ථාවේ දි ජනයාගේ කරච්චලයෙන් දුම්රිය නින්නාද වන්නට විය. එම දුම්රියේ සුදු වේට්ටියෙන් හා කමිසයෙන් සැරසී ගත් දොස්තරවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන්, ලිපිකරුවන් වෙළඳ ව්‍යාපාරිකයන් ආදී විවිධ තරාතිරම්හි වූ දකුණේ සේවය කළ උතුරේ වැසියෝ තම නිලතල පසක ලා එම සොදුරු කරච්චලයට දායක වෙමින් සිටියෝය. මොවුන් හා එක් වූ අනිත් පාර්ශවය නම් සති අන්ත නිවාඩුවට නාගදීපය වන්දනාවේ ගිය දකුනණ් සිංහල වැසියන්ය. රස කැවිලි බෙදා හදා ගනිමින් මේ දෙපිරිස ම රසවත් චාරිකාවකට එක්විය.

පොල් රුප්පා පසුකරමින් හති දමමින් වේගවත් ගමනක නියුතු වූ යාල් දේවිය තල් රුප්පා ‍පෙනෙන ඉසවුවකට උදෑසන හිරු උදාව ආසන්නයේ දී සැපත් වූවාය. උදෑසන පහන් ආලෝකයෙන් මඟ දෙපස සරුවට වගාකර තිබූ ලූණු වගාවන්, මිරිස්,මිදි හා විවිධ එළවළු වගාවන් දැකිය හැකි විය. උතුරු කරයට බොහෝ සමකාමී සෙනසුරාදාවක් මෙසේ එළඹෙබින් තිබිනි. සිංහළ දෙමළ පිරිස් මෙළෙස බොහෝ සහයෝගයෙන් කල් ගෙවූ සාමය සහජීවනය පිරි අතීතයක් බල ලෝභි මිනිස් කල්ලියකගේ කුරිරු මෙන් ම පාපතර උණ්ඩයෙන් නිමාවටපත් විය. රාජනීලා තංගම්මලා සුමනාවතීලා, තිලකසිරි ලා එකමට පාසැල් ගිය, සෙල්ලම් කළ යුගය නිමා විය.යාල් දේවියට මඟ වැරදුනි. දකුණේ සිංහලුන්ට නාගදීපයට වන්දනාවේ යාම අමතක විය.දුම්රිය මාර්ගය පවා වල් බිහි විය. උතුරත් දකුණත් මෙලෙස දෙපසට වීම ඇරඹුනි.

එක දිගට ඇද හැලුන වෙඩි වරැසාවට හසු වී මිනිසත්කම සේදී ගියේය. හදවත් හි පිරී තිබූ ආදරය, අනුකම්පාව, කරුණාව ගසා ගෙන ගොස් තිබින. නිරතුරුව හඩ නැංවූ බෝම්බ පිපිරීම් දසත පැතිර තිබූ සිනාව උදුරා ගෙන කඳුළු වැල් පෙළගැස්ස වීය. පාසැල් යමින් පෑනට පොතට අත හුරුකළ දරුවන්ගේ අතට ද තුවක්කු ලැබින. මේ පුංචි රට තුල තවත් නිවහල් දමිළ දේශයක් පිළිබද සිහිනයක අතරමං කොට දැමූ, දෙමළ දරු දැරියන්ට කල් ගෙවන්නට සිදු විය.පබළු වැල් පැළන්දූ ගෙලින් ද සමන් මලින් සැරසි දිගු කෙස් වැටියෙන් ද දිගු සායෙන් ද සැරසී යාල් දේවිය එන තුරු මගබලා සිටි දමිළ දැරියන්ගේ ගෙලෙහි උණ්ඩ වැල් එතිනි. සමන් මල් පැළදි දිගු කෙස්වැටි කොටට කැපිනි. දිගු සාය ඉවත ලා කලිසමක ට හුරුවීමට ඔවුන්ට සිදු විය. ෆයෟවනයට දෝත දිගු කරමින් හුන් සොදුරු යුවතියන්ට කලිසම් අන්දවා, කෙස්වැටිය කොටට කපා, ගෙලෙහි පතරොම් වැල් පළන්දා සියුමැලි දෑත ට තුවක්කු ලබා දී යුධ භූමියට යැවීමට තරම් ත්‍රස්තවාදය කුරිරු විය.

තිස් වසරක් පුරා මේ ලෙසින් ඇවිළී ගිය ශාපලත් යුද්ධය දහස් ගණන් ජීවිත ගිල ගත්තේය. ගොඩනැගිලි ගෙවල් දොරවල් වගා බිම් සියල්ල දැවී අළු විය. අවසන කැඩී ගිය තල් කරටි හා රුධිරයෙන් නැහැවුන සොහොන් බිමක් වැනි භූමියක් තිළිණ කරමින් මේ කුරිරු යුද්ධය නිමා විය. ත්‍රස්තවාදී සාපයෙන් මේ පුන්‍ය භූමිය මුදවා රට ඒකජත්‍ර කිරීමට දශක තුනක් ගත විය. ලංකාවේ උතුරුකරයේ හටගත් මෙම ත්‍රස්තවාදී පිළිලය තිස් වසරක් පුරා පෝෂණය වී ජාත්‍යන්තරය දක්වා වැඩී තිබිනි.

මෙම විනාශකාරී පිළිලය මුලිනුපුටා දැමීම සඳහා රටේ රාජ්‍ය නායකයා පෙරටු කරගත් ජාත්‍යාභිමානයෙන් පිරිපුන් සියළු පිරිස් එක් රැස් විය. අවසන ලොවම මවිත කරමින් මේ භාරදූර කාර්යය සාර්ථක කර ගැනීමට ලක් වැසියෝ සමත් වූහ. මෙම ‍‍ෛඑතිහාසික අවස්ථාවේ දී ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ආචාරය හිමි විය.

වසර තිහකට පසු උතුරට වසන්තයත් නැගෙනහිරට නවෝදයත් රැගෙන සාමයේ අරුණළු උදා විය. සෑම සිතකම දැල්වුන “ කවද‍ා මේ බිමට සාමයක් උදා වේදෝ “ යන යන පැතුම මල්ඵල ගැන්වින. මඩු පල්ලියේ පූජාවේ හඩ උතුරට සාමය සැපත්වූ පණිවිඩය හඩ ගා කීය. පාපතර ත්‍රස්තයන් කඩා බිඳ දැමූ , පාලම්, බෝක්කු, මංමාවත් පිළිසකර කිරීමේ යුහුසුළු වූ රජය උතුරේ වැසියන්ට සෞභාග්‍යමත් අනාවක්, සහනශීලී ජීවන රටාවක් නැවතත් ගොඩ නංවා ගැනීමට අවැසි යටිතල පහසුකම් සම්පාදනය කරමින් සිටී.

මෙවන් මාහැඟි අවස්ථාවක, මේ භූමියේ අනාගතය භාර ගැනීමට කැපවී සිටින යෞවනයේ කාර්යභාරය පිළිබඳව විමසිලිමත් වීම අත්‍යාවශ්‍යය. මන්දයත් සාරවත් පසකින් ද සංකීර්ණ සංස්කෘතික පදනමකින් ද සහනශීලී ජීවන රටාවකින් ද පරිපූර්ණ වූ උතුරු කරයේ ජන ජීවිතය මෙවන් ව්‍යසනකාරී තත්වයකට ඇද දැමූයේ ද එවකට යොවුන් වියේ පසු වූ ප්‍රභාකරන් ඇතුළු තරුණයන් පිරිසක් විසිනි. ඔවුන්ට මෙවන් ත්‍රස්ත සංවිධානයක් ගොඩ නැංවිමට තරම් ප්‍රමාණවත් සමාජ දේශපාලනික වටපිටාවක් එදා නිර්මණය වී තිබුනා විය යුතුය. එසේ නම් යෞවනයන්වශයෙන් අද අපගේ අවධානය යොමු විය යුතු ප්‍රධානම කාරණය නම් මෙවන් වටපිටාවක් නැවත ගොඩ නැංවීමට හේතු විය හැකි මූල බීජ වනසා දැමිය යුතු බවයි. උතුර දකුණ අතර මනා සංනිවේදනයක් ගොඩ නැගීම මෙහි දී අත්‍යාවශ්‍ය වේ.උතුරු කරයේ පවතින අදහස් හා මතවාද දකුණට දකුණේ පවතින අදහස් හා ආකල්ප උතුරට ද වටහා ගැනීමට හැකිවන පරිසරයක් ගොඩ නැංවිය යුතුය. ජාතීන් කීපයක් වෙසෙන කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය භාෂා වන සිංහල හා දෙමළ බස සියළු දෙනාට ම ඉගෙනීමේ අවස්ථා සලසා දීම තුලින් සන්නිවේදන ගැටළු නිරාකරණය කර ගැනීමට බොහෝ දුරට මගහසර සැලසේ.

තවද රටේ සම්පත් බෙදී යාමේ දී උතුරු දකුණු භෙදයකින් තොරව ඒවා හැකිතාක් සාධාරණ පදනමකින් බෙදා හැරීම ද කළ යුතුව ඇත. එය මහජන නියෝජිතයන් සහභාගි වන ව්‍යවස්ථාදායක සභාවක් මගින් ප්‍රජාතන්ත්‍රවාදීව රටේ පාලනය හැසිරවීම තුලින් ඉටු කරවා ගත යුතුය. වඩාත් ම වැදගත් වන්නේ රට වැසියන් තුල සිංහළ දෙමළ ලෙස ජාතීන් වශයෙන් දෙපිරිසක් වුව ද සියළු‍ දෙනාම එක ම මිනිස් කැළක් බවට අවබෝධයක් ඇති කර වීමත්, සහෝදර ජන කොට්ඨාශ දෙකක් ලෙස ආකල්පමය වශයෙන් සංවර්ධීත මානසිකත්වයක් ඇති කර ලීමත් වේ. වසර 2500කටත් අධික කාලයක් තිස්සේ බුදු දහමින් සුපෝෂිත හෙළ ධරණී තලයෙ හි මෙවන් ආකල්පම ය වෙනසක් ඇති කිරීම අපහසු කාර්යයක් නොවේ. බෞද්ධයා නිරතුරුව අන්‍ය ආගම්වලට ගරුකිරීමට හුරු වූ ආගන්තුක සත්කාරයට ලැදි අල්පේච්ඡ ජීවන ක්‍රමයකට හැඩ ගැසුන ජන කොටසකි. බහුතර සිංහළ ජනතාව අන්තවා දී ජාතිවා දී පිරිස් නොවෙති. ඔවුහු ජාතිවාත්සල්‍යයෙන්, ජාතිකාභිමානයෙන් යුතු වුවත් ජාති වාදීන් නොවෙති.

ඒ9 මාර්ගය ඔස්සේ ඕමන්තේ හරහා උතුරැ දකුණ යා කෙරෙන සංහිදියාවේ පාලම ඉදිවෙන මෙවන් සමයක ජනමාධ්‍ය සතු වගකීම ද සුළුපටු නොවේ. යුද්ධය පැවති සමයේ ජාතිකාභිමානය නංවා ලමින් එම කාර්යය සාර්ථක කර ගැනීමේ ලා සහයෝගය දැක්වූවා සේ ම යුද්ධය නිමාවත් සමග ගෙවෙන මේ සංක්‍රාන්ති සමයේ සිංහළ දෙමළ සහෝදරත්වය ගොඩනැංවීමේ තීරණාත්මක කාර්යභාරය ද ඉටු කිරීමේ වගකීම ජනමාධ්‍ය සතු වේ. එසේම සාහිත්‍යකරුවන්ට ද ගීතය, කවිය, කතාව හරහා සංවාදාත්මක කතිකාවතක් ගොඩ නැංවීම තුලින් සිංහල දෙමළ සහජීවනය ගොඩනංවාලීමට මහඟු කාර්යයක් ඉටුකළ හැක. තවද අධ්‍යාපන ක්ෂේත්‍රය තුලින් පාසල් දරුවන් තුල සහෝදරාත්මක චින්තනයක් ‍ගොඩනංවා ලීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරේ. මක්නිසා ද යත් පෙරදා මෙන් ම සාමලා අමර ලා සමඟ සුදර්ජනී ලා රාජන් ලා ද හෙට දින එකම පාසලක අකුරු කරන්නට භාග්‍යවන්තයන් වී සිටින නිසාවෙනි. හෙට දිනයේ දී පරන්තන් කම්හල, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව, අලිමංකඩ කඩදාසි කම්හළ අදියේ සේවයට සිංහළ දෙමළ දෙපිරිසම එක් වනු ඇත. දැනට උතුරුකරයේ වගා කරනු ලබන ලූණු, මිරිස්, මිදි හා එළවළු දකුණට ගෙනෙනු ඇත.උතුරේ තල් හකුරු දකුණේ සුළභ වනු ඇත. දකුණේ වෙළෙන්දන්, ධීවරයන් සිය කර්මාන්ත උතුරට ව්‍යාප්ත කරනු ඇත.දකුණේ සැදැහැතියන් නාගදීප වන්දනාව නැවත අරඹනු ඇත.සියළු දෙනා එක් ව ලක් මවගේ සන්තුෂ්ටිය උදෙසා කැපවෙනු ඇත.

තවදුරටත් අවිදරා සටන් වැදීමේ වුවමනාවක් සිංහළ දමිළ දෙපාර්ශ්වයටම නැත. සියළු දෙනා එක් ව එකම නැකතකට සිංහළ හින්දු අළුත් අවුරුදු කිරිබත පිසින සුවඳින් ලක් මව සුවඳවත් වනු ඇත. නැවත වරක් යාල් දේවියගේ ප්‍රීතිමත් සිනා හඩත්, කල්ලඩි පාලම පාමුල සිංදු කියනා මාළුන්ගේ නාදයත් ලක්බිම පුරා විසිර යනු ඇත.

Wednesday, May 5, 2010

හිතවතානෙණි.....

එකම බිම් කඩක
නොදැන කල් ගෙවී බොහෝ
හැදින ගත්තෙමු එකිනෙකා
වෙන්ව යන්නට ආසන්න වූ
ඒ නිමේෂයේ දී.......

දිරිය සිත දිග හැරෙන කළ
මහත්මා ගති පණ ගහනවිට
ඔබේ ගුණ කඳ දෙස බලා
වැඩුව ආශා ගොඩ ගැසී....

මල් පිපුණ මුත් සිය දහස්
නොමැත ඵල හට ගැනී ලා
මලානික වී ගස පාමුල ම
මල් ගොඩම බිම වැටී ලා

කඳුළු බිඳු ගල් වුනා - හඩන්නට බැරි දිනේ
ඔබේ සොදුරු ගුණ නිතර - මසැස ඉදිරියෙ මැවේ
සදා ජය පතමි මම - තරහවක් නැති සිතේ
පතමි මේ සසරෙ දී - ඔබ ඇසුර යම් දිනේ

Thursday, April 22, 2010

චාරිකා


මට අද සිතුල් පව්ව ගැන ලියන්න හිතුනා. චිත්තල පබ්බත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චිත්තාකර්ෂණීය ස්ථානයක්. රුහුණු ජාතික වනෝද්‍යානය එහෙමත් නැත්නම් යාල කැලේ ඇති රමණීය බිම් කඩක්. අපි ගියේ තිස්ස ඉදලා යොදා තිබූ පොදු ප්‍රවාහන සේවයේ උපකාරයෙන්. පහසුවෙන්ම කියනවා නම් ලංගම බස් එකේ. තිස්ස දීම බස් එක පිරිලා, අවට ගම්මාන වලට යන ගැමියන් වගේම සිතුල්පව්ව වන්දනාවෙ යන බැතිමතුන්ගෙන්. වලගොඩැලිවල වැටෙමින් ඉබිගමනින් බසය ඉදිරියට ඇදුනා.

තෙත් කලාපයේ උපන් මා කැලයක් පිළිබඳව හිතන්නෙ සිංහරාජ, කොට්ටව වගේ කැලයක් හිතේ තියා ගෙන. සිසිල් සෙවන ඇති සනීප පරිසරයක් බලාපොරොත්තු වුනත් මේ ශුෂ්කකලාපයේ හමුවන මිනිස්සුන්ගෙ ජීවිත වගේම, කැලයෙත් කටුක බව තමා අත් දකින්න ලැබුනෙ.කටු පදුරු එක්ක මිටි ගස් තිබුනට පොළවට දැඩි හිරු රැස් අපූරුවට වැටුනා. දූවිලි කුණාටු සමග ගමන වෙහෙසකර එකක් වුනා. ඉදහිටලා මොණරෙක් ‍ රැගුම් දැක්වුවා. කැලය ඇතුලින් අලියෙකුගෙ හඩත් ඈතින් ඇහුනා. මග දිගට මිනිස් වාසස්ථාන තිබුනේ අඩුවෙන්. ඒත් පන්සල් නම් කීපයක්ම තිබුනා. හමුදා මුර පොළ වල් තමා වැඩියෙන්ම තිබ්බෙ.

සිතුල්පව්ව මුදුනට ගියාම නම් හරි ම සුළඟ. අපිව ගහගෙන නොගියා විතරයි. ගල මුදුනට නගින එකත් දුෂ්කර කාරියක්. අමාරුවෙන් කරන දේ අපූරු ආස්වාදයක්. ඉතිං ඔයාලත් කතරගම එහෙම යනව නම් සිතුල්පව්වෙත් යන්න.

Wednesday, April 21, 2010

සා පවස නිවා.....



ජල බිදුවක අගය කියා
කාහට මිල කළ හැකිදෝ...


මේ දියත පුරා සරනා සියතුන්
සිවුපාවන්, දෙපා සතුන්
ජල පොදක් නොවී නම්
අද කොහිදෝ...


ලොව උණුසුම් වන
විපරිත කාලෙක

දිය පවස කෙසේ

සන්සිදුවිය හැකිදෝ....

Tuesday, April 20, 2010

කිරි සුවඳ

චූටි පුතුගේ මුවේ
කිරි සුවඳ දැනුන දා
හද නිවුනි පුංචි පුතු
මගේ ලොවට පැමිණි දා



විරසක වූ හිමිසදට


පාළු හදවත වසා
ඔබේ සෙවනැලි ඇඳී
මැකී යන යාමයේ
පද වැලක් අමුණන්න...

කඳුළු නැති නෙත් කෙවෙනි
අඩන්නට බැරිවු දා
ඉකි ගසන හඩ තව ම
නෑසෙනා දුරක ඔබ....

විරසක වූ හිමියනේ
නපුරු ඇයි මේ තරම්
ප්‍රේම කළ සිත එදා
පාරවන්නේ කෙලස....

Friday, February 26, 2010


නිසල සඳ නැති අහස් තලයේ
තනිව පෑයූ පුංච් ත‍රු කැටයේ
නුඹ යදින සඳ උදා නොම වේ නම්
හැකි ලෙසින් නුඔ තනිව හිනැහීයන්

අඳුර පිරි ලොව එකඑ කරන‍ට
සඳ එලිය මෙන් නොහැකි වූව ද
නිවි නිවී දිලෙනා නුඹේ රැස්
කණ මැදිරි එලි ‍ලෙසින් දිස්වී
පුංචි උන්වත හිනා පුබු දා නම්
දිරි සිතින් නුඹ සදා සැනසීයන්

Wednesday, February 17, 2010


කන්දට නොවැටහෙයි නිල් දියෙහි සීතල
උල්පත තිබෙන්නේ කඳුවැටිය පාමුල
ලෝකය සුවඳ කළ මුත් දිවා රෑ කල
නා ගහ දන්නෙ නැහැ දෙන සුවඳ නා මල

මා කඳුරේ ගුණවර්ධන කවිඳු

Friday, February 12, 2010

සිත් ගත් ජන ගී


වනෙත් ගිඡිදාය සිටියොත් වැන සේ ය
ළිදෙත් පනිඳාය බැස්සොත් ඌ කා ය
අතකින් කරවැලකි අතකින් දඬු බෑ ය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය

කාහටත් වර දී
ඉන් දොස් කීම වැර දී
මා හට නොවර දී
කියන අයහට නිතර වර දී

පතල කල අසනු මැන මිතුරන්ගෙ ගතී
දෙපොළ තද වෙලා මට ගැලවුමක් නැතී
කොතළ වල වතුර අඩු කුලට නොම දෙතී
බතල කොළ කටින් සිටුවන්නට දනිතී

Thursday, January 21, 2010

ජීවන ගීතය



සොදුරු වසත් සමයයි - ගෙවෙන්නේ
ජීවන ඕවිල්ලේ...
මල් පාවාඩ සැඳී මඟ දෙපසේ
ජීවන ගීය ගැයෙන්නේ...

සුන්දර යෞවනයේ මහබික්මන
ලඟ බවදෝ-කියුවේ...
මල්සර කුමරුණී කෝ කොහිදෝ ඔබ
කෙවිලිය තනිව ගයන්නේ.......

නව අවුරුදු ප්‍රාර්ථනා


මේ සුභ නව වසරේ....
නොවේ වා කිසි හදෙහි
අසාධාරණය හෝ අයුක්තිය

නොපෙනේවා.... මා දෑසට
අනුන් කරනා නොපනත්කම්
නොඇසේවා....මා සවනට
අනුන් කොටවනා වහසි බස් නම්....

හැකි වේවා......ඉටු කරනට
මගේ කාරිය උපරිමෙන්
වේවා ලෝ වැසි සැමට
ගෙවිය හැකි වසරක් සන්තොසින්!

Wednesday, January 13, 2010

නික්මයාම

සිහින් සුළඟක් ලෙසින්
ඔබේ හඩ මුමුණද්දි
සවන වැකෙනා වදන්
හදවතෙහි රැව්දෙද් දි
නොසිතුවෙමි මේ ලෙසින්
තනිකමම තිළිණ ‍ෙකාට
නික්ම යාචියි විගස.....

රුදුරු යුධ බිමේ වුව
සිහින් ස්වරයෙන් නිබඳ
ගැඹුරු හඩ අවදි කොට
වදන් වැල් අමුණද්දි
අසා සිටියෙමි තුටින්
උවසියක ලෙසින් මම.....

නොම දැනුනි මා සිතට
නුඹ අසල පුපුරණා
මෝටාර්, ආටිලරි
මේ තරම් දුක් ගඟක්
රැගෙන ඒ යැයි සැනින්

කෙලෙස නිහඩව ගියෙ ද
සිතමි මම නිරතුරැව..
මරණයේ කුරිරැ බව
අත් වින්ද නුඹ නොවේ
ජීවිතය මැරි මැරී....
දහස් වර උපදිනා
මම විදිමි...
කටුක බව
නුඹ නොමැති මේ ලොවේ...

සිසිලස

ඉඩෝර බිම නිවාලමින්
වැසි පොද එක දෙක වැටුනා
මහ වැස්සක් ඇද හැලෙතැයි
දෝත දිගු කරන් උන්නා

පැලි වලං පැලුන පොළවේ
වියලීගිය තණපත් මත
ලා දළු ලියලා වැඩෙතැයි
නෙතු නොපියා උන්නා

නොසිතූ ලෙස නිමේෂයෙන්
මහ සුළඟක් හමා ගියා
වැහි ගෙන ආ වලාකුඵ ද
ඒ සුළ‍ඟේ පාව ගියා...

සැමදාමත් වියළුන බිම
දූවිලි රැල් මැකීයන්න
විතරක් ඇයි වැහි වැටුනේ?
හැමදාමත් රත්වූ බිම
ගිනියම් වී පැවතුනි නම්.....
වැහි පොද ගෙනදුන් සිසිලස
කවදාවත් නොදැනුනි නම්....