Thursday, April 22, 2010

චාරිකා


මට අද සිතුල් පව්ව ගැන ලියන්න හිතුනා. චිත්තල පබ්බත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චිත්තාකර්ෂණීය ස්ථානයක්. රුහුණු ජාතික වනෝද්‍යානය එහෙමත් නැත්නම් යාල කැලේ ඇති රමණීය බිම් කඩක්. අපි ගියේ තිස්ස ඉදලා යොදා තිබූ පොදු ප්‍රවාහන සේවයේ උපකාරයෙන්. පහසුවෙන්ම කියනවා නම් ලංගම බස් එකේ. තිස්ස දීම බස් එක පිරිලා, අවට ගම්මාන වලට යන ගැමියන් වගේම සිතුල්පව්ව වන්දනාවෙ යන බැතිමතුන්ගෙන්. වලගොඩැලිවල වැටෙමින් ඉබිගමනින් බසය ඉදිරියට ඇදුනා.

තෙත් කලාපයේ උපන් මා කැලයක් පිළිබඳව හිතන්නෙ සිංහරාජ, කොට්ටව වගේ කැලයක් හිතේ තියා ගෙන. සිසිල් සෙවන ඇති සනීප පරිසරයක් බලාපොරොත්තු වුනත් මේ ශුෂ්කකලාපයේ හමුවන මිනිස්සුන්ගෙ ජීවිත වගේම, කැලයෙත් කටුක බව තමා අත් දකින්න ලැබුනෙ.කටු පදුරු එක්ක මිටි ගස් තිබුනට පොළවට දැඩි හිරු රැස් අපූරුවට වැටුනා. දූවිලි කුණාටු සමග ගමන වෙහෙසකර එකක් වුනා. ඉදහිටලා මොණරෙක් ‍ රැගුම් දැක්වුවා. කැලය ඇතුලින් අලියෙකුගෙ හඩත් ඈතින් ඇහුනා. මග දිගට මිනිස් වාසස්ථාන තිබුනේ අඩුවෙන්. ඒත් පන්සල් නම් කීපයක්ම තිබුනා. හමුදා මුර පොළ වල් තමා වැඩියෙන්ම තිබ්බෙ.

සිතුල්පව්ව මුදුනට ගියාම නම් හරි ම සුළඟ. අපිව ගහගෙන නොගියා විතරයි. ගල මුදුනට නගින එකත් දුෂ්කර කාරියක්. අමාරුවෙන් කරන දේ අපූරු ආස්වාදයක්. ඉතිං ඔයාලත් කතරගම එහෙම යනව නම් සිතුල්පව්වෙත් යන්න.

Wednesday, April 21, 2010

සා පවස නිවා.....



ජල බිදුවක අගය කියා
කාහට මිල කළ හැකිදෝ...


මේ දියත පුරා සරනා සියතුන්
සිවුපාවන්, දෙපා සතුන්
ජල පොදක් නොවී නම්
අද කොහිදෝ...


ලොව උණුසුම් වන
විපරිත කාලෙක

දිය පවස කෙසේ

සන්සිදුවිය හැකිදෝ....

Tuesday, April 20, 2010

කිරි සුවඳ

චූටි පුතුගේ මුවේ
කිරි සුවඳ දැනුන දා
හද නිවුනි පුංචි පුතු
මගේ ලොවට පැමිණි දා



විරසක වූ හිමිසදට


පාළු හදවත වසා
ඔබේ සෙවනැලි ඇඳී
මැකී යන යාමයේ
පද වැලක් අමුණන්න...

කඳුළු නැති නෙත් කෙවෙනි
අඩන්නට බැරිවු දා
ඉකි ගසන හඩ තව ම
නෑසෙනා දුරක ඔබ....

විරසක වූ හිමියනේ
නපුරු ඇයි මේ තරම්
ප්‍රේම කළ සිත එදා
පාරවන්නේ කෙලස....