Thursday, January 21, 2010

ජීවන ගීතය



සොදුරු වසත් සමයයි - ගෙවෙන්නේ
ජීවන ඕවිල්ලේ...
මල් පාවාඩ සැඳී මඟ දෙපසේ
ජීවන ගීය ගැයෙන්නේ...

සුන්දර යෞවනයේ මහබික්මන
ලඟ බවදෝ-කියුවේ...
මල්සර කුමරුණී කෝ කොහිදෝ ඔබ
කෙවිලිය තනිව ගයන්නේ.......

නව අවුරුදු ප්‍රාර්ථනා


මේ සුභ නව වසරේ....
නොවේ වා කිසි හදෙහි
අසාධාරණය හෝ අයුක්තිය

නොපෙනේවා.... මා දෑසට
අනුන් කරනා නොපනත්කම්
නොඇසේවා....මා සවනට
අනුන් කොටවනා වහසි බස් නම්....

හැකි වේවා......ඉටු කරනට
මගේ කාරිය උපරිමෙන්
වේවා ලෝ වැසි සැමට
ගෙවිය හැකි වසරක් සන්තොසින්!

Wednesday, January 13, 2010

නික්මයාම

සිහින් සුළඟක් ලෙසින්
ඔබේ හඩ මුමුණද්දි
සවන වැකෙනා වදන්
හදවතෙහි රැව්දෙද් දි
නොසිතුවෙමි මේ ලෙසින්
තනිකමම තිළිණ ‍ෙකාට
නික්ම යාචියි විගස.....

රුදුරු යුධ බිමේ වුව
සිහින් ස්වරයෙන් නිබඳ
ගැඹුරු හඩ අවදි කොට
වදන් වැල් අමුණද්දි
අසා සිටියෙමි තුටින්
උවසියක ලෙසින් මම.....

නොම දැනුනි මා සිතට
නුඹ අසල පුපුරණා
මෝටාර්, ආටිලරි
මේ තරම් දුක් ගඟක්
රැගෙන ඒ යැයි සැනින්

කෙලෙස නිහඩව ගියෙ ද
සිතමි මම නිරතුරැව..
මරණයේ කුරිරැ බව
අත් වින්ද නුඹ නොවේ
ජීවිතය මැරි මැරී....
දහස් වර උපදිනා
මම විදිමි...
කටුක බව
නුඹ නොමැති මේ ලොවේ...

සිසිලස

ඉඩෝර බිම නිවාලමින්
වැසි පොද එක දෙක වැටුනා
මහ වැස්සක් ඇද හැලෙතැයි
දෝත දිගු කරන් උන්නා

පැලි වලං පැලුන පොළවේ
වියලීගිය තණපත් මත
ලා දළු ලියලා වැඩෙතැයි
නෙතු නොපියා උන්නා

නොසිතූ ලෙස නිමේෂයෙන්
මහ සුළඟක් හමා ගියා
වැහි ගෙන ආ වලාකුඵ ද
ඒ සුළ‍ඟේ පාව ගියා...

සැමදාමත් වියළුන බිම
දූවිලි රැල් මැකීයන්න
විතරක් ඇයි වැහි වැටුනේ?
හැමදාමත් රත්වූ බිම
ගිනියම් වී පැවතුනි නම්.....
වැහි පොද ගෙනදුන් සිසිලස
කවදාවත් නොදැනුනි නම්....